Uncategorised

දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි. 

දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 වන දින, ප්‍රථම වතාවට එම දිනය ශ්‍රී ලංකාවේ අවධාරණය කරමින්, ළමා හිංසනයට තිත පදනම (SCC) ‘හැඳි නොගා හදන හොද්ද’ නමින් ශාරීරික හිංසනයට එරෙහි දැනුවත් කිරීමේ තවත් වැදගත් වැඩසටහනක් වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ. ‘හැඳි නොගා හදන හොද්ද’ වැඩසටහන, ශාරීරික දඬුවම්වලට එරෙහිව 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය බලාත්මක කිරීම පිණිස ප්‍රවීණයින්, අධ්‍යාපනඥයින්, සමාජ ක්‍රියාකාරීන්, දෙමව්පියන් සහ දරුවන් විසින් දියත් කරනු ලබන වැඩසටහනකි.

ළමා ආරක්ෂණයට බාධා එල්ල වන,  දණ්ඩ නීති සංග්‍රහය තුළ ඇති විෂමතා සංශෝධනය කිරීම සඳහා ක්ෂණික පිළියම් යෙදීමටත්, ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත්, රජයේ අනිවාර්ය වගකීම ඉටු කිරීමටත් නියෝග කරමින්, ශාරීරික දඬුවම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑත කාලයේ ලබා දුන් ස්වර්ණමය නඩු තීන්දුව කෙරෙහි, ළමා හිංසනයට තිත පදනමෙහි උපදේශන කටයුතුවලින්ද අනුබලයක් ලැබී තිබෙන බව විශේෂඥ පිළිගැනීමයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) විසින් 2017 වසරේදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, සිසුන්ගෙන් 80% ක් අවම වශයෙන් එක් ශාරීරික දඬුවමකට හෝ 53.2% ක් ශාරීරික අපයෝජනයට සහ 72.5% ක් මානසික හිංසනයටද ලක්ව ඇති බවයි. මෙහිදී නිර්දේශ 18 ක් ඉදිරිපත් කර ඇති නමුත්, අද දක්වාම සැලකිය යුතු  ප්‍රතිඵල අත්වන කිසිවක් ක්‍රියාත්මක කර නොමැත.

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCRC) අත්සන් තබා ඇති රටවල් 196 න් රටවල් 135 ක් පාසල්වල ශාරීරික දඬුවම් තහනම් කර ඇති අතර, රටවල් 62 ක් නිවෙස් හා පාසල් ඇතුළු සෑම පරිසරයකම ශාරීරික දඬුවම් තහනම් කර තිබේ. එම රටවල යොවුන් ප්‍රචණ්ඩත්වය පහව ගොස් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාව සම්මුතියට අත්සන් කිරීමෙන් වසර 26 කට පසු, එනම් 2015 දී දකුණු සුඩානය එකී සම්මුතිය අනුමත කළ නමුත්, 2011 වසරේ දී එරට ශාරීරික දඬුවම් තහනම් කරනු ලැබිණි. ජනවාර්ගික ප්‍රචණ්ඩත්ව අරගල සඳහා ප්‍රකට දකුණු අප්‍රිකාව, 2019 වසරේදී ශාරීරික දඬුවම් තහනම් කර තිබේ. රටක ප්‍රචණ්ඩත්වය දුරු කිරීමට වේවැල් විකිණීම තහනම් කිරීම වැනි සරල ක්‍රම අනුගමනය කිරීම මගින් විශිෂ්ට දැක්මක් සහිත වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.

2021 මාර්තු මාසයේදී අට හැවිරිදි දැරියක වේවැල් පහර දී මරණයට පත් කිරීමේ ඛේදනීය සිදුවීම සමග, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති පරිදි නිතීමය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් දක්වන උදාසීනත්වය පිළිබඳව ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ද, ළයාන්විත පුරවැසියෝද කලකිරීමට පත්ව සිටිති.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය ඓතිහාසික තීන්දුවෙන්, එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියෙහි “ශාරීරික බලය භාවිතා කරන සහ යම් තරමක වේදනාවක් හෝ  අපහසුතාවයක් ඇති කිරීමට අදහස් කරන සුළු හෝ ඕනෑම දඬුවමක් ශාරීරික දඬුවමක්” ලෙසින් කර ඇති අර්ථ දැක්වීම අනුව, විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ, 341 (i) වගන්තිය සඳහා සංශෝධන නිර්දේශ කර ඇති බව හා ළමුන්ට ශාරීරික දඬුවම් සුදුසු බවට සමාජයේ පවතින සාම්ප්‍රදායික මිථ්‍යා මතවාද ප්‍රතික්ෂේප කරන ලද බවට ළමා හිංසනයට තිත පදනමෙහි සභාපතිනිය වෛද්‍ය තුෂ් වික්‍රමනායක අවධාරණය කළාය. මෙය, ළමා ආරක්ෂණය සම්බන්ධ බලධාරීන් විසින් වේගයෙන් අනුගත විය යුතු, දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු සහගතව සිටි අවස්ථාවක් වශයෙන් මෙන්ම, එය සැලකිය යුතු ප්‍රතිඵල ලබා නොදෙන කෙටිකාලීන ව්‍යාපෘතියක් කර නොගෙන, තිරසර ක්‍රියාදාමයක් කරා ඔවුන් විසින් යොමු විය යුතු බවද වෛද්‍ය වික්‍රමනායක අදහස් කරයි.

අපගේ අනාගතයේ යහපත උදෙසා පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව දරන උත්සාහය අගය කරන අතරම, පරිසරයෙහි උරුම කරුවන් වන අනාගත සැබෑ ප්‍රතිලාභීන් වන අපේ දරුවන් ද අප දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බව ළමා හිංසනයට තිත පදනමෙහි තානාපතිනිය ඔටාරා ගුණවර්ධන සඳහන් කළාය.

ළමා හා නව යොවුන් මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මානසික ආතතිය, පීඩාකාරී බව සහ සියදිවි නසා ගැනීම වැනි හිංසනයේ විනාශකාරී මානසික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් පැහැදිළි කරයි. ශාරීරික දඬුවම් යනු මෙතරම් සාර්ථක විනය ක්‍රමයක් නම්, ශාරීරික දඬුවම් තහනම් කර ඇති ෆින්ලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ වෙනත් රටවල් එම ක්‍රමවේද ඉගෙන ගැනීමට අපගේ පාසල්වලින් පිටත පෙළ ගැසෙනු ඇති බවද වෛද්‍ය චන්ද්‍රදාස සඳහන් කරයි.

iProbono හි Equality Law, අධ්‍යක්ෂ අරිත වික්‍රමසිංහ මහතා ප්‍රබල පණිවිඩයක් දෙමින් සඳහන් කළේ, අනෙකුත් ක්‍රමවලින් දරුවන්ගේ විනය පාලනය හැකි බවත්, ශාරීරික දඬුවම් සහ වේවැල් පහර දිම මගින් සමාජයේ සදාකාලික ප්‍රචණ්ඩත්වයේ චක්‍රය සාමාන්‍යකරණය වීම පමණක් සිදු වන බවත් ය.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන ප්‍රියදර්ශනී ආරියරත්න ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටියි. දශක දෙකකට පසුව අවසානයේදී, 2019 දී නිකුත් කරන ලද මෙම ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර පහක ක්‍රියාවලියක් පවතින නමුත්, වර්තමාන අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා වේගවත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අරියරත්න මහත්මිය නිර්දේශ කළාය.

දරුවන්ට එරෙහි හිංසනය හෙළා දකින ‘පරපුරක අභියාචනය’ මැයෙන් වූ පූර්වාදර්ශී විවාද මාලාවෙහි අවසාන වටයෙහි ජයග්‍රාහකයින් වන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසු සිසුවියෝ උද්‍යෝගිමත් කරුණු කාරණා රැසක් ඉදිරිපත් කරමින්, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළහ. ධනාත්මක විනය ක්‍රමවේද සහ පන්ති කාමරය තුළ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි  විද්‍යාත්මක යෝජනාවලින් සමන්විත උසස් මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතීන් පිළිබඳව ඔවුහු සඳහන් කළහ.

ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී වෙනස්කම් ඇති කිරීම පිණිස, සිවිල් සමාජ සංවිධාන සමග රජය සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම සංවාදය මගින් අවධාරණය කෙරුණු අතර, අපගේ අනාගතයේ සැබෑ හිමිකරුවන් වන දරුවන් සඳහා සමානාත්මතාවය, යුක්තිය සහ බලාපොරොත්තුව සහතික කිරීමට කටයුතු කරන ලෙස ළමා හිංසනයට තිත පදනම සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

වැඩි විස්තර www.stopchildcruelty.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය

Comment here