Uncategorised

IIT ආයතනය, වත්මන් ව්‍යාපාරික ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව, “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් Webinar මගින් සිසුන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology‍් (IIT) ආයතනය මගින් “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් වූ Webinar සංවාදයක් සාර්ථකව පවත්වන ලදී. එය මූලිකවම, කෝව්ඩ් 19 වසංගත තත්වය හමුවේ වත්මන් ව්‍යාපාරික ලෝකයේ දිශානතිය පිළිබඳව, උසස් පෙළ සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැති වැඩසටහනක් විණි.

අලෙවි විශේෂඥ මනීෂා කැප්පෙටිපොළ, ඇට්ලින්ක් කොමියුනිකේෂන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා රුවිනිකා සිරිවර්ධන හා IIT ආයතනයේ උපදේශක සහ ව්‍යාපාර අංශයේ ප්‍රධානී ඔස්ටින් මාස්ක්‍රංගේ ආදී වෙනස් ක්ෂේත්‍රයන්ගෙන් සැදුම්ලත් විද්වතුන් එක්වූ මෙම සංවාදය මෙහෙයවන ලද්දේ, IIT ආයතනයේ කථිකාචාර්ය, උපදේශක හා ව්‍යාපෘති අධ්‍යක්ෂ, හවේන්ද්‍ර ගුණවර්ධන විසිනි.  

ටෙල්කෝ, සිල්ලර සේවා හා ඇගළුම් යන ක්ෂේත්‍රයන්හි මනා පළපුරුද්දකින් හෙබි, මනීෂා කැප්පෙටිපොළ කෝවිඩ් හේතුවෙන් වර්තමානයේ ජනතාව මුහුණ දෙන තීරණාත්මක වෙනස් කම් පිළිබඳව එහිදී අවධානය යොමු කළා ය.

“වර්තමානයේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීමට සඳහා සාම්ප්‍රදායික ව්‍යාපාර බරපතල වෙනස්කම් සිදු කරමින් යන බව පැහැදිලිව පෙනෙන කරුණක්. තව වසරකින් හෝ දෙකකින් කෝවිඩ් වසංගත තත්වය අහෝසි වී යාමට ඉඩ තිබුණත්, අද සිදු කෙරෙන තාක්ෂණික වෙනස්කම් දිගටම පවතීවි. අද වන විට විශාල වශයෙන් වෙනස්කම්වලට භාජනය වී ඇති ක්ෂේත්‍ර අතර, අන්තර්ජාලය මගින් ඇණවුම් කර නිවසට ගෙන්වා ගැනීමට හැකි සිල්ලර අලෙවි ක්ෂේත්‍රය, ඉතා පහසු ක්ෂේත්‍රයක් ලෙසින් පාරිභෝගිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා. සුපිරි වෙළෙඳ සැල් මෙන්ම කුඩා ප්‍රමාණයේ වෙළෙඳ සැල්ද, අන්තර්ජාලය මගින් අලෙවි කිරීම සඳහා යොමු වී සිටින අතර, පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන සමාගම් අන්තර්ජාලය මගින් පාරිභෝගිකයින් හට සෘජුවම භාණ්ඩ අලෙවි කිරීමෙහි නිරතව සිටිනවා.” ඇය සඳහන් කළාය. එමෙන්ම, වර්තමානයේ සුවිශාල ලෙසින් වෙනස්කම්වලට භාජනය වී ඇති ක්ෂේත්‍රයක් ලෙසින් දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය පෙන්වා දෙන අතර, පවතින තත්ත්වය යටතේ දුරකතන සන්නිවේදන සමාගම් සුවිශාල දියුණුවක් අත්පත් කර ගැනීමත් සමග‍ සුවිශාල ලෙස වාසි ලබන ක්ෂේත්‍රයක් ලෙස සන්නිවේදන ක්ෂේත්‍රය පත්ව ඇති බව ඇය පෙන්වා දුනි.

“අන්තර්ජාලය ඔස්සේ, වැඩ කිරීම හා ඉගෙන ගැනීම සඳහා වන පැකේජ ආදී වශයෙන් වර්තමාන අවශ්‍යතාවන්ට අනුව නවතම නිෂ්පාදන රැසක් දුරකතන සමාගම් විසින් එළි දක්වා තිබෙනවා.” ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඉලක්ක ගත පාරිභෝගික කණ්ඩායම් කරා  යොමු වීම සඳහා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය වෙත යොමු වීම අත්‍යශ්‍ය බවය. “වර්තමානයේ පුවත්පත් කියවන හා  රූපවාහිනී නරඹන පිරිස ඉතාමත් අඩුයි. යෞවන යෞවනියන් විශාල වශයෙන් යොමු වී සිටින්නේ, ෆේස්බුක්,‍් යූ ටියුබ්, ස්නැප්චැට්, සමාජ හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වෙතයි. සමාජ මාධ්‍ය මගින් නැරඹුම් වාර ප්‍රමාණය, ක්ලික් කිරීමේ ප්‍රමාණය, ලයික්ස්, කමෙන්ට්ස් හා ෂෙයාර්ස් මෙන්ම තවත් ක්‍රම ගණනාවක් මගින් ප්‍රතිඵල වඩාත් හොඳින් මැනගත හැකියි. සමාජ මාධ්‍යය තුළ අඩු වියදමකින් වැඩි බලපෑමක් කළ හැකි නිසා, එය වෙළෙඳ දැන්වීම්කරණයේ අනාගතය ලෙසින්ද සඳහන් කළ හැකි අතර, ඒ සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට ආයතන පෙළඹී සිටිනවා.”

මානව සම්පත් ක්ෂේත්‍රයේ සිය අත්දැකීම් ගෙනහැර දක්වමින්, රුවිනිකා ගුණවර්ධන සඳහන් කරන්නේ, ඕනෑම අමිහිරි තත්ත්වයක් යටතේ වුවත් ධනාත්මක හා සුභවාදී වීම වැදගත් බවයි.

“ඔබ ධනාත්මක නම් ඔබට නිර්මාණශීලී වීමට හා නව නිෂ්පාදන බිහි කිරීමට හැකියාවක් පවතිනවා.” යනුවෙන් ඇය සඳහන් කළාය. එමෙන්ම සිය දියුණුව වෙනුවෙන් තාක්ෂණය භාවිත තිරීමට සමාගම් ඉවහල් වන්නේ කෙසේද යන්න පිළිබඳවද ඇය පැහැදිලි කළාය.     

“අද වන විට දත්ත යනු, සමාගම්වල ජීව රුධිරය ලෙසින් සැලකෙන අතර, බොහෝ කාර්යයන් සිදු කිරීම සඳහා දත්ත තිබීම ඉතාමත් වැදගත්. කෘත්‍රිම බුද්ධිය (AI) සමාගම්වල ක්‍රියාවලීන් යළි අරුත් ගැන්වමින් කාර්යයන්හි සැලකිය යුතු වෙනස්කම් සිදු කරමින් තිබෙන නිසා, ඒ සඳහා සූදානම් වීම වැදගත්.” අනාගත රැකියා නියුත්කිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, හොඳ රැකියා අවස්ථාවන් සඳහා පිළිගත් උපාධියක් තිබීම වැදගත් බවයි. “උපාධියක් තිබීම වැදගත් වුවත්, එයම පමණක් ප්‍රමාණවත් නැහැ. පැහැදිලිව ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කිරීමේ හැකියාවත් අවශ්‍යයි.  සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී, ඔබගේ වටිනාකම් පෙන්වීමට හැකියාවක් නැත්නම් එයින් අසමත් වීම සාමාන්‍යයි. ඒ නිසා මේ කාලය, ඔබගේ දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට සුදුසුම කාලයයි.” 

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම විග්‍රහ කරමින්, ඔස්ටින් මාස්ක්‍රංගේ මහතා සඳහන් කළේ, බොහෝ අභියෝග මතු කරමින් එමගින් මිශ්‍ර බලපෑමක් සිදුව ඇති බවයි. “ලංකා ගුරු සංගමයේ අදහස අනුව, තාක්ෂණය භාවිත කිරීමට පාසල් හා ගුරුවරුන් අපොහොසත්. ඒ වගේම, සන්නිවේදන පිරිවැය දැරීමට සිසුන්ට හැකියාවකුත් නැහැ. තවමත් රටේ ඇතැම් ප්‍රදේශවල දුරකතන සම්බන්ධතාවල ගැටලු පවතිනවා.” එසේ වුවත්, රටේ බොහෝ ප්‍රදේශවලින් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.

“සමහර සිසුන් තාක්ෂණය කෙරෙහි නැඹුරු නිසාම, ඔවුන් අන්තර්ජාලය මගින් ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේම, ඔවුන්ගේම තැනක සිට පහසුවෙන් අධ්‍යාපනය ලැබීමට හැකි බැවින්, පාසල් ගොස් ඉගෙනීමෙහි නිරත වනවාට වඩා මේ ක්‍රමයට ඔවුන් කැමතියි.” කෝවිඩ් පළමු රැල්ලත් සමග අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙන අවස්ථාවේ තම ආයතනයටද, ඉහත ආකාරයේ ගැටලු මතු වුණු බවත්, ඒවා ඉතා ඉක්මණින් ජය ගැනීමට හැකි වුණු බවත් ඔහු සඳහන් කළේ ය. “සිසුන් මුහුණ දෙන සන්නිවේදන පිරිවැය පිළිබඳ ගැටලුව අපටද මතු වුණු නිසා, සන්නිවේදන හවුල්කරුවන් සමග කතාකර, හොඳ අධ්‍යාපනික ඩේටා පැකේජයක් සිසුන් වෙත පිරිනැමීමට අපි පියවර ගත්තා. ඒ අනුව, අන්තර්ජාලය මගින් ඉගෙන ගැනීමේදී අමතර වියදමක් දැරීමට සිදු වන්නේ නැහැ. අපගේ කථිකාචාර්යවරුන් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව, 4G රවුටර් පිරි නැමීමට අපට හැකි වුණා. බ්‍රිතාන්‍යයේ  අපගේ විශ්ව විද්‍යාල හවුල්කරු වෙත දැනටමත් ලොව හොඳම පන්ති ඉගෙනුම් කළමණාකරණ පද්ධතියක් (LMS), සතු බැවින් සිදු කළ යුතුව තිබුණේ, පද්ධතියෙහි ධාරිතාව ඉහළ නැංවීම පමණයි. තාක්ෂණය හා ඉතාමත් හොඳින් බද්ධ වුණු ආයතනයක් ලෙසින්, අපගේ සියලු සිසුන්, ව්‍යාපාර කළමණාකරණ අංශයෙහි සිසුන් පවා, නවීන තාක්ෂණය හා ඉතා පහසුවෙන් ගනුදෙනු කරනවා. ඒ වගේම මේ වනතෙක් අපට එකදු දේශනයක් හෝ මගහැරී නැති බව සතුටින් සඳහන් කිරීමට කැමතියි. පදනම් පාඨමාලා සඳහා අපගේ විශ්ව විද්‍යාල හවුල්කරුගේ සහයකින් තොරව, ඉතා පහසුවෙන්  LMS භාවිත කරමින් අපි පවත්වාගෙන යනවා.”

රැකියා වෙළඳපොළේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් ඔස්ටින් මාස්ක්‍රැන්ගේ මහතා සඳහන් කළේ, වෙනසට අනුගත වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව අනාගත රැකියා වෙළෙඳ පොළ සඳහා බලපාන ප්‍රධාන සාධක බවයි.” වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය සමග එක්ව, IIT ආයතනය පිරි නමන ව්‍යාපාර කළමනාකරණ උපාධිය හැදෑරීමෙන් පසු සිසුන්ට තමන් විවේචනාත්මක හා නිර්මාණශීලී චින්තකයින්, සාක්ෂරතාව සහිත ඵලදායී සන්නිවේදකයින් හා ව්‍යවසායකත්ව කුසලතා සහිත පිරිසක් ලෙසින් මෙන්ම, සමාජීය, සදාචාරාත්මක හා පාරිසරික දැනුවත්භාවයකින් යුක්තව, ගෝලීය දැක්මක් සහිතව ප්‍රජාව සමග සම්බන්ධ වී සිටින පිරිසක් බවට සහතික කරගත  හැකියි.”

ඡායාරූප විස්තරය-

‘2020 න් ඔබ්බෙහි ව්‍යාපාර සජීවී Webinar සංවාදය අතරතුර

Comment here