Uncategorised

British Council දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව අවධාරණය කරමින් වාර්තාවක් එළිදක්වයි

  • මෙම වාර්තාවට අනුව ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගෙන් 75% ක් තමා අවට ප්රජාව තුළ සිදුවන දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා  අවශ් කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන් සමන්විත වන නමුත්, 69 % ක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැත
  • වර්තමාන දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති තුළ කාන්තාවන්ගේ හා සුළුතර කණ්ඩායම්වල හඬට  අඩු අවධානයක් යොමු වෙයි
  • තරුණ තරුණියන්ගෙන් 67% කගේ අදහස වන්නේ තම දේශපාලනික නායකයින්ට තනිවම දේශගුණික විපර්යාසයන් සඳහා  විසඳුම්  ලබාදිය නොහැකි බවයි
  • ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී  තරුණ තරුණියන් සහභාගි කරගැනීම ඉතාමත් ඵලදායී වේ

දේශගුණික විපර්යාසයන් ලොවට බලපා ඇති ප්‍රධානතම තර්ජනයක් ලෙස   ලොව  පුරා වෙසෙන බහුතරයක් තරුණ තරුණියන් ඒකමතිකව පිළිගන්නා නමුත්, ඒ වෙනුවෙන් සාර්ථකව යමක් කිරීමට හෝ ශක්තිමත් හඬක් නැගීමට ඔවුන්ට ඇති අවස්ථා සීමිත බව British Council විසින්  2021සැප්තැම්බර් 9 වන දා එළිදැක්වුණු  සුවිශේෂී වාර්තාවක් මගින් අනාවරණය කෙරිණි.

බ්‍රසීලය, ඉන්දියාව, කෙන්යාව, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 23 ක, වයස අවුරුදු 18-35 අතර තරුණ තරුණියන් 8,000 කගේ අදහස්, අත්දැකීම් සහ අභිලාෂයන් යොදාගනිමින් සැකසුණු ‘ගෝලීය තරුණ ලිපි වාර්තාව’ ප්‍රධාන කොටගත් සුවිශේෂී ක්‍රමවේදයක් හරහා දේශගුණික විපර්යාසයන්  පිළිබඳව තාරුණ්‍යයේ දැක්ම කුමක් ද යන්න පිළිබඳව විමසීමක් සිදුකෙරුණි. එමගින් දේශගුණික විපර්යාසයන් පිළිබඳව රටවල් 23ක තරුණ තරුණියන්ගේ වටිනා අදහස් ලොවට හෙළි කිරීමට හැකි විය.

2021 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාල වකවානුව තුළ සිදුකෙරුණු මෙම පර්යේෂණය British Council හි දේශගුණික සම්බන්ධතා (The Climate Connection ) වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරුණු අතර, එහි අරමුණ වූයේ දේශගුණික විපර්යාසයන් ආශ්‍රිත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ලොව පුරා ජනතාව ඒකරාශී කර ගැනීමයි.

වාර්තාව මගින් අනාවරණය කරගත්, දේශගුණික විපර්යාස පිළිබඳ තරුණ තරුණියන්ගේ අභිලාෂයන් සහ නිර්දේශයන් උපයෝගී කරමින් ‘ගෝලීය තරුණ ලිපියක්’ සකස්කොට ඇති අතර, එය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට (COP26) සහභාගී වන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ලෝක නායකයින්ගේ සෘජු සංවාදයට යොමුකිරීමට නියමිතය.

ගෝලීය වශයෙන් සිදුකෙරුණු මෙම සමීක්‍ෂණය සඳහා  සහභාගි කරගත් තරුණ තරුණියන්ගෙන් 25% ක් ග්‍රාමීය ප්‍රදේශවලින් එක්කර ගත් අතර 75%ක පිරිසක් නාගරික ප්‍රදේශවලින් එක්කර ගැනිණි. එමෙන් ම  මේ සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 55% ක් කාන්තාවන් වූ අතර, මෙහි දී සාම්ප්‍රදායිකව සැලකිල්ලක් නොදක්වන ආබාධ සහිත තරුණ තරුණියන් හා සුළුතර තරුණ කණ්ඩායම්වල අදහස් සඳහා ද අවධානය යොමු කිරීම විශේෂිත ය.

තම රටේ නායකයින්ට දේශගුණික විපර්යාසයන් තනිවම විසඳා ගත නොහැකි බව මෙහි දී අදහස් දැක්වූ තරුණ තරුණියන්ගෙන් 67% ක පමණ පිරිසකගේ අදහස විය. වර්තමාන දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය තුළ කාන්තාවන්ගේ සහ සුළුතර කණ්ඩායම්වල අදහස් අන්තර්ගත විය යුතු බව ඔවුහු අවධාරණය කළහ.

ප්‍රතිපත්තිමය තීරණ සඳහා තරුණ තරුණියන්ගේ අදහස් ද ඇතුළත් කර ගැනීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි. මෙහි දී අදහස් දැක්වූ  තරුණ තරුණියන්ගේ අදහස වූයේ ඔවුන්ගෙන් ලැබෙන වඩාත් නව්‍ය අදහස් මගින් පුළුල් හා වඩාත් ඵලදායී ලෙස දේශගුණික විපර්යාසයන්ට මුහුණ දිය හැකි බවයි. එමෙන් ම තරුණ තරුණියන්ගේ උද්‍යෝගීමත් බව වඩාත් ප්‍රායෝගිකව හා ව්‍යූහාත්මකව භාවිතයට ගත හැකි, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැහැදිලි අවශ්‍යතාව මෙහි දී මතු කෙරිණි.

දේශගුණික ගැටලුවලට  විසඳුම් සෙවීම සඳහා දායක වීමට බොහෝ තරුණ තරුණියන් කැමැත්තක් හා උනන්දුවක් දක්වන නමුත්, බොහෝ දෙනෙකුට ඒ සඳහා නිසි අවස්ථාවන් නොලැබෙන බව මෙම වාර්තාවෙන් අනාවරණය කෙරිණි. මෙහි දී යෞවන යෞවනියන්ගෙන්  75% ක් තමා ජීවත් වන කලාපයේ දේශගුණික විපර්යාසයන්ට අදාළව නිසි පියවර ගැනීම සඳහා  අවශ්‍ය කුසලතාවන්ගෙන් හා හැකියාවන්ගෙන්  සමන්විත බව වාර්තා වූ අතර, ඉන් 63% ක් කියා සිටියේ ‘එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP26)’ පිළිබඳව  තමා දැනුවත් බවයි. එමෙන් ම 69 % ක පිරිසක් කිසිදු අවස්ථාවක දේශගුණික ක්‍රියාකාරකම්වලට සහභාගී වී නොමැති බව එහිදී ප්‍රකාශ කළහ.

 දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තාරුණ්‍යයේ සහභාගීත්වයට ඇති බාධක අතර ඩිජිටල් පහසුකම් අවම වීම, විවිධ සමාජමය හා සංස්කෘතිකමය බාධාවන් මෙන් ම නිපුණතා වර්ධනය හා පුහුණුව සඳහා අවස්ථාව  නොමැතිකම ආදී කරුණු ද ප්‍රධාන තැනක් ගනී.

තරුණ තරුණියන්ට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස ඩිජිටල්  ක්‍රමවේදයන් හි කාර්යභාරය  පිළිබඳව මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇති අතර, ඇතැම් පුද්ගලයින් අන්තර්ජාලයට භාවිතයෙන් බැහැර වීම (Digital Divide) සඳහා බලපා ඇති හේතු  පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද එහි සඳහන් කොට ඇත.

වැරදි තොරතුරුවලට එරෙහි වෙමින්, දේශගුණික විපර්යාසයන් පිළිබඳ තොරතුරු තම සම වයසේ මිතුරන් සමඟ හුවමාරු කර ගැනීම සඳහා සාර්ථක ක්‍රමවේදයක් ලෙස  සමාජ මාධ්‍යන් බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක් විය. අන්තර්ජාල පහසුකම් නොමැති, දුෂ්කර ප්‍රදේශවල තරුණ තරුණියන් සඳහා රූපවාහිනිය සහ ගුවන් විදුලිය යන මාධ්‍යන් ඔස්සේ දේශගුණික විපර්යාස පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව බොහෝ දෙනාගේ මතය විය.

තමන්ගේ ම අදහස් ඇතුළත් ‘දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා වූ ලිපිය හා ප්‍රතිඥාව’ සඳහා අත්සන් තැබීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට එම ලිපියට පහත Link එකෙන් පිවිසී අත්සන් තැබිය හැකිය: www.britishcouncil.org/climate-connection/get-involved/global-youth-letter

‘දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා වූ ගෝලීය තරුණ ලිපිය’ 2021 සැප්තැම්බර් 09 වන දින එළි දැක්වුණු අතර, ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ  සමුළුවෙහි දී ඊට සහභාගිවන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ  සාකච්ඡාවට බඳුන් කිරීමට   නියමිතය.

ගෝලීය තරුණ ලිපිය සඳහා  දායක වූවන් අතරින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1000 කට අධික පිරිසක් වන අතර, ඉන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව දැනුවත් භාවයකින් යුක්ත වූහ. නමුත් ඉන් බහුතරයකට ඒ පිළිබඳව තාක්‍ෂණික අවබෝධයක් හෝ පුළුල් දැනුමක් නොමැති බව අනාවරණය විය.

දේශගුණික විපර්යාසයන් පිළිබඳ  වැඩිදුර තොරතුරු අධ්‍යනය කිරීම සඳහා බොහෝ දෙනෙක්   කැමැත්තක් දක්වන අතර, බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ ඔවුන්ගේ අදහස් හා ක්‍රියාකාරකම් අනාගතයේ දී වැදගත් වනු ඇති බවයි. එමෙන් ම මෙම වෙනස සිදු කිරීම සඳහා   ක්‍රියාකාරකම්වල යෙදෙන විට, ඒ පිළිබඳව නිසි අධ්‍යාපනය ක් ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සාර්ථක ක්‍රමවේදයන් අනුගමනය කිරීම මගින් එම ක්‍රියාවලිය පහසු මෙන් ම ආස්වාදජනක වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.   එමෙන් ම දේශගුණික විපර්යාස ජයගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කළයුතු බව එම තරුණ තරුණියන් විශ්වාස කරන අතර, එය ක්‍රමානුකූල වෙනස්කම් සහිතව මහා පරිමාණ ක්‍රියාවලීන් දක්වා ගොඩනැගිය යුතු පොදු වගකීමක් ලෙස ඔව්හු සලකති.

නාගරික හා ග්‍රාමීය තරුණ කණ්ඩායම්වලට  දැනුම ලබා ගැනීම සඳහා  සම්පත් ප්‍රමාණවත් නොවීම,  සහ එම වැඩසටහන් සඳහා  අවම රාජ්‍යය මැදිහත් වීම මෙරට තරුණ ක්‍රියාකාරකම් සඳහා බාධක ලෙස හඳුනා ගැනිණි.

British Council ආයතනය තම  දේශගුණික සම්බන්ධතා (The Climate Connection ) වැඩසටහනට සමගාමීව ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබේ. මෙරට සමාජය තුළ යහපත් වෙනසක් ඇති කරමින්, දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීම සඳහා තරුණ ක්‍රියාකාරකම් බලගැන්වීමට ‘British Council  තරුණ නායකත්ව වැඩසටහන’ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරයි. එමෙන් ම තම ඉංග්‍රීසි භාෂාව සහ අධ්‍යාපනික වැඩසටහන් මෙන් ම කලා හා සංස්කෘතික වැඩසටහන් තුළින්, දේශගුණික ක්‍රියාමාර්ග සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මට සක්‍රීයව දායක වීම British Council ආයතනයේ අරමුණයි.

British Council ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂ මාර්යා රෙහමාන් මෙසේ පැවසුවේය.  “ලෝකය මුහුණ දෙන ලොකුම අර්බුදය විදියට දේශගුණික විපර්යාසයන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා ලොව පුරා සිටින තරුණ තරුණියන්ගේ මූලික අවධානය ඒ සඳහා යොමු කළ යුතු බව British Council ආයතනයේ අදහසයි. ඒ පිළිබඳව අපි සමීක්ෂණවලින් පවා ඔප්පු කරල තිබෙනවා. අපගේ ‘ගෝලීය තරුණ ලිපියට’ මෙතෙක් අත්සන් තැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මේ අර්බුදයට හැකි ඉක්මණින්  පියවර ගන්න කියලා මම  නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයට තාරුණ්‍යයේ හඬ  එක් කිරීමට මෙයින් අපිට හැකිවේවි කියලා මම විශ්වාස කරනවා.”

British Council ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කේට් ඒවාර්ට් -බිග්ස් මහත්මිය පැවසුවේ මෙවන් අදහසකි.

“දේශගුණික විපර්යාස සඳහා විසඳුම් සෙවීමේ දී ලොව පුරා සිටින තරුණ තරුණියන්ගේ හැකියාවන්වල ඇති වටිනාකම අපගේ මෙම වාර්තාවෙන් හෙළිදරව් කරල තිබෙනවා. තරුණ තරුණියන් කියන්නෙ හෙට දවසේ නායකයින්. ඉතින් ඔවුන්ගේ හඬට   නායකයින් තම අවධානය යොමු කිරීම වගේ ම, ඔවුන්ගේ අනාගතයට බලපාන ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී ඒ සඳහා ඔවුන්ටත් සම්බන්ධ වීමට අවස්ථාව සලසා දීම අත්‍යවශ්‍යයි. British Council ආයතනයේ දේශගුණික සම්බන්ධතා වැඩසටහන තුළින් අපි මුහුණ දෙන විශාලතම ගෝලීය ගැටලුව සඳහා  විසඳුම් සෙවීමට තරුණ තරුණියන්ට  උපකාර කිරීම කෙරෙහි අවධානය යොමුකරනවා. එහි දී  අපි අධ්‍යාපනය, කලා, සංස්කෘතික හුවමාරුව සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අපගේ  ප්‍රවීණතාව උපයෝගී කරගනිමින් තරුණ තරුණියන්ට ශක්තිය ලබා දෙනවා. ”

එක්සත් රාජධානිය සත්කාරකත්වය දරණ මෙවර COP 26 සමුළුව 2021 නොවැම්බර් 1 සිට 12 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි දී පැවැත්වීමට නියමිත ය. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පියවර ගැනීමට ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පෙලඹවීම සඳහා සිය ගෝලීය සේවා ජාලය උපයෝගී කරගනිමින් එක්සත් රාජධානියේ රජය  ගෙනයන වැඩපිළිවෙලට  British Council ආයතනය සිය උපරිම සහාය ලබා දෙයි.

ගෝලීය තරුණ ලිපි වාර්තාව පිළිබඳව

‘දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ ලිපිය’ යනු 2021 නොවැම්බර් 20 දින ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 26 වන දේශගුණික විපර්යාස සමුළුව හෙවත්, COP 26  ට සහභාගී වන නායකයින්ගේ සෘජු අවධානයට ලක් කිරීම සඳහා  ගෝලීය තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් සැකසුණු වාර්තාවකි.

එය රටවල් 23 ක තරුණ තරුණියන් 8,000 කගේ අදහස්, අත්දැකීම් සහ අපේක්ෂාවන් පිළිබඳව ලබාගත් තොරතුරු ඇසුරින් British Council ආයතනය සිදුකළ සුවිශේෂී පර්යේෂණයක  ප්‍රතිඵලයකි.

අදාල පර්‍යේෂණ කණ්ඩායම, පර්‍යේෂණය සඳහා බදුන්වූවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, පසුබිම, ජීවත්වන රට සහ සමාජ-ආර්ථික තත්ත්වය යනා දී කරුණු පදනම් කරගනිමින්, COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම පර්‍යේෂණ කටයුතු සිදුකළ අතර, මෙම පර්යේෂණය 2021 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සිදුකෙරුණි.

‘දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ ලිපිය’,  දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මිලියන සංඛ්‍යාත ජනකායක් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වන British Council දේශගුණික සම්බන්ධතා (The Climate Connection ) වැඩසටහනේකොටසකි.

තරුණ තරුණියන් මෙම  වැඩසටහනේ ප්‍රධානතම බලවේගය වන නිසා ඔවුන්ට අපගේ ලෝකය සැබෑ වෙනසක් කරා ගෙන යාමට අවශ්‍ය කුසලතා සහ සබඳතා  ශක්තිමත් කරගැනීම සඳහා British Council ආයතනය ඔවුන්ට නිරන්තර සහයෝගය ලබා දෙයි.

British Council ආයතනය පිළිබඳව

British Council යනු එක්සත් රාජධානිය විසින් සිය සංස්කෘතික සබඳතා සහ අධ්‍යාපනික අවස්ථා ප්‍රවර්ධනය සඳහා පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර සංවිධානයයි. British Council  එක්සත් රාජධානියේ සහ අනෙකුත් රටවල කලා හා සංස්කෘතික, අධ්‍යාපනික සහ ඉංග්‍රීසි භාෂාව යන අංශයන් තුළින් ජනතාව අතර සබඳතා, අවබෝධය සහ විශ්වාසය ගොඩනඟන ආයතනයකි. 2019-2020 කාල වකවානුව තුළ දී British Council ආයතනය  මිලියන 758 ක ජනකායක් වෙත ළඟා වීමට සමත් විය. එමෙන් ම 1934  වසරේ දී ආරම්භ කෙරුණු British Council ආයතනය රාජකීය ප්‍රඥප්තිය සහ එක්සත් රාජධානියේ මහජන ආයතනයක් මගින් පාලනය වන ආයතනයකි. එක්සත් රාජධානියේ රජයෙන් British Council ආයතනයට  14.5% ක මූලික අරමුදල් ප්‍රදානයක් ලබා දෙයි. වැඩි දුර විස්තර සඳහා  www.britishcouncil.org වෙත පිවිසෙන්න.

Comment here