Uncategorised

ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වමින් කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ ජාතික ව්‍යාපෘතිය දියත් කරයි

ශ්‍රී ලංකාවේ හිසකෙස් රැකවරණයේ ප්‍රමුඛතම සන්නාමය වන කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති සුවහසක්‌ කාන්තාවන් වෙනුවෙන්  ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ “සොඳුරු දිරියවන්ති”  ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා පවත්වන ලදි.  පිළිකා ප්‍රතිකාරවල  අතුරු ඵලයක් ලෙස අහිමි වන හිසකෙස් වෙනුවෙන් වැඩි වන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීමත්,  හිසකෙස්  අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ  සමාජ කම්පනය හමුවේ  ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීමත් යන අරමුණු පෙරදැරිව කුමාරිකා විසින් මෙම ව්‍යාපෘතිය  ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සම්බන්ධීකරණ සහයෝගය සමග ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමග එක් වෙමින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදු කරයි.

ඔන්ලයින් වැඩසටහනක් ලෙස පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ  වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක,  ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් වෛද්‍ය සචිනි මලවිආරච්චි,  දිස්ත්‍රික් සිංහාධිපතිනි සිංහ චාන්දනී විතාන සහ විධායක අධ්‍යක්ෂක/හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ හි ප්‍රධාන විධායක නිලධාරිණි කස්තුරි චෙල්ලරාජා විල්සන් ‍යන සැමගේ ගෞරවණීය සහභාගීත්වය තුළින් අලංකාරවත් විණි.

කාන්තාවන්ගේ සුන්දරත්වය සෑම ආකාරයකින්ම අගයමින්, රසායනික චිකිත්සා ප්‍රතිකාර‍ය (chemotherapy treatment) ලබන රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් සැකසු care packs පරිත්‍යාග කිරීමට  මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරයි. රසායනික චිකිත්සාව ආරම්භයේදීම ලබාදෙන මේ  හිසකෙස් පළඳනාව, එම ප්‍රතිකාර‍ය නිසා පළමු සති 2-4ත් තුළ අහිමි වන හිසකෙස් වෙනුවෙන් විකල්ප පළඳනාවක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබේ. මෙම care packs තුළ උරහිස් මට්ටම දක්වා දිගකින් යුතු ස්වභාවික හිසකෙස්  යොදා සැකසු කේශ පළඳනාවක්  අන්තර්ගත වන අතර මෙහි විශේෂත්වය වන්නේ අවශ්‍ය ලෙස සකසා ගැනීම  සඳහා වූ adjustable පටියක් ද තිබීමයි.  එමෙන්ම කුමාරිකා  පවුලේ හෙයා ඔයිල්,  කුමාරිකා ෂැම්පු සහ කන්ඩිශනර්, කුමාරිකා හෙයා සේරම් යන  නිෂ්පාදන ඇතුළු එහි මනා නඩත්තුව සඳහා වැදගත් වන මඟ පෙන්වීම් සහිත පොත් පිංචක් ද මෙහි ඇතුළත් වේ. හිසකෙස් නැවත වැඩීමට හිස් කබලට සහ හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය මෙම කුමාරිකා නිෂ්පාදන මඟින් ලබා දෙනු ඇත.

වැඩසටහනේ පළමු අදියරේ දී  මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල  පළාත්  මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහල,  යාපනය – තෙලිප්පලායි මූලික රෝහල, රත්නපුර  පළාත්  මහ රෝහල,  මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල්වල පිළිකා රෝගීන් වෙත මෙම care packs පරිත්‍යාග කිරීම සිදු කරනු ඇත. සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන ආකාරයට ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වන අතර මෙම අගයෙන් 15,500ක් ම කාන්තාවන් වේ.  මෙවන්  වාතාවරණයක දී, “සොඳුරු දිරියවන්ති” ජාතික ව්‍යාපෘතිය වෙතින් කේෂ පළඳනා 6000ක් වාර්ෂිකව පරිත්‍යාග කිරීමට  අපේක්ෂා කරන අතර හඳුනාගත් පිළිකා රෝගී කාන්තාවන්ගෙන් හරි අඩකට ආසන්න අගයක් ගනියි. එලෙසම, මෙම වැඩසටහන රෝගීන්ගේ හිසකෙස් පළඳනා අවශ්‍යතාව සපුරාලන අතරම ඔවුන්ගේ  ඉදිරි ගමන ශක්‌තිමත් කිරීම සඳහා ඔවුන් තුළ  අපේක්ෂා ගොඩ නැංවීමෙහිලා රෝගීන් දිරිමත් කිරීම, අභිප්‍රේරණය කිරීම සහ මානසික අත්වැලක් වීම වෙනුවෙන් උපදේශන වැඩසටහන්  ද සිදු  කරයි.

අද දිනය වන විට ලොව පුරා 80%ක් පමණ පිළිකා රෝගීන් රසායනික චිකිත්සා ප්‍රතිකාරය ලබාගන්නා අතර එහි අතුරු ඵලයක් ලෙස දිනපතා හිසකෙස් අහිමි වීමේ ගැටළුවට මුහුණ දෙයි. එමගින් ඔවුන් මුහුණපාන සමාජ කම්පනය හේතු කොට ගෙන බොහෝ දෙනා ප්‍රතිකාරවලින් වැළකී සිටීමට පවා පෙළඹෙයි. සමාජය හා ගැටී කටයුතු කිරීමට, සබඳතාවන් පැවැත්වීමට, පොදු ස්ථානවල, අවස්ථා සඳහා සහභාගී වීමට කැමැත්තක් දැක්වූවත් එමගින් ඇතිවිය හැකි දැඩි මානසික පීඩනය සහ අපහසුතාවය සලකා එම අවස්ථාවලින් වැළකී සිටීමට ඔවුන් උත්සාහ දරයි. එම සහකම්පිත අවබෝධයත්  සමඟම ‘සොඳුරු දිරියවන්ති” වැඩසටහන දිවයින පුරා හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීම සහ දැනුවත් කිරීමේ අඛණ්ඩ වැඩසටහන් ලෙස සිදුකරන්නේ ඔවුන්ව නඟා සිටුවීමේ මහඟු  ප්‍රයත්නයක් ලෙසිනි.

ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම වැඩසටහන වෙනුවෙන්  සිය සුභාශිංසන එක් කරන ලද්දේ “හේමාස් පාරිභෝගික භාණ්ඩ සන්නාමය යටතේ එන  ශ්‍රී ලාංකේය අංක 1 කේෂලාවණ්‍ය සන්නාමය කුමාරිකා    සහ අනෙක් පාර්ශව සංවිධාන සහයෝගීව  ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ යහපත  උදෙසා සිදු කරන මෙම වැඩසටහන වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. තම අහිමි වූ කොණ්ඩය වෙනුවට සමාන ආදේශකයක් භාවිතා කිරීමට කැමති වූවත්, බොහෝ රෝගීන්ට ස්වභාවික හිසකෙස් පළඳනාවක් ලබා ගැනීමට නොහැකි තත්වයක් පවතිනවා. මෙම මුල පිරීම මා බෙහෙවින් අගය කරන අතර මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාම දැකීමට කැමතියි” යනුවෙනි.

ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය විද්‍යාලයේ ලේකම්, වෛද්‍ය සචිනි මලවිආරච්චි මේ අවස්ථාව හා සම්බන්ධ වෙමින් මෙවන් කාලීන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් දායක වූ සියළු පාර්ශවයන්ගේ දායකත්වය අගය කළ අතර, වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යාමට සුභ පැතුම් ද එක් කරන ලදි.

 “සොඳුරු දිරියවන්ති” වැඩසටහන පිළිබඳ හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ හි ප්‍රධාන විධායක නිලධාරිණි කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මෙසේ අදහස් දක්වා සිටියාය. “පිළිකාවට එරෙහිව සටන් කිරීමට ධෛර්යය සහ අධිෂ්ඨානය අවශ්‍යයි. මේ සොඳුරු, නිර්භීත කාන්තාවන්  මේ අභියෝගාත්මක ගමනේ දී  තමන් පිළිබඳ හොඳ හැඟීමක් ඇති කර ගැනීමට අවශ්‍යයි. මේ සොඳුරු  කාන්තාවන් වෙත ගොස් ඔවුන්ගේ සටනේ කොටස්කරුවන් වෙමින්  ඔවුනට සහය වීමට හැකි වීම අපට ගෞරවයක්”

වර්තමානයේ බරපතල ගැටළුවක් බවට පත්ව ඇති පිළිකා රෝගීන්ගේ ඉහළ යාම දැකීම කණගාටුවට කරුණකි. මෙම රෝගයේ පසු කම්පනකාරී මානසික තත්ත්ව සමාජයේ අවධානයට ලක් වූවකි. බොහෝ කාන්තාවන්ට අභියෝගාත්මක රෝගී තත්වයක් මෙන්ම හිසකෙස් අහිමි වීම් නිසා ඇතිවන   මානසික සංකුලතා සමඟ පොර බදන්නට සිදුවේ. අනෙකුත් පාර්ශවකරුවන් සමග එකට එක් වෙමින් මෙම ජාතික වැඩපිළිවෙළට ජීවයක් ලබා දීමට හැකි වීම පිළිබඳව ඉන්දිරා පිළිකා භාරය වෙනුවෙන් මම සැබැවින්ම ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් ඉන්දිරා පිළිකා භාරයේ සභාපති, ආචාර්ය ලංකා ජයසූරිය දිසානායක සිය අදහස් දැක්වීය.

අලුත්ගම, බෙන්තොට සිංහ සමාජයේ දිස්ත්‍රික් සිංහාධිපතිනි, සිංහ චාන්දනී විතාන මහත්මිය “අවශ්‍යතාවයක් ඇති තැන සිංහයෙකු සිටියි” යන අපගේ ආදර්ශ පාඨයට අනුව යමින් මෙම ජාතික වැඩපිළිවෙලෙහි පාර්ශවකරුවකු වීම සහ පිළිකාවෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් සැපිරීම වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම කාලෝචිත පරිත්‍යාගය ඔවුන්ගේ දෑත් ශක්තිමත් කරමින් හා සමාජය තුළ ඔවුනට හිමි තැන ලබා දීමත්, ඔවුන් කෙරෙහි විශ්වාසය ඇති කරවමින්, ඔවුන්ගේ පවුල් සමඟින් ප්‍රීතිමත්ව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා” යනුවෙන් ප්‍රකාශ කර සිටියාය. 

හේමාස් කන්සියුමර් ආයතනයේ හි කුමාරිකා, සැබෑ ශ්‍රී ලාංකේය හිසකෙස් සත්කාරක සන්නාමයක් වන අතර, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා වූ හේමාස් හි අරමුණ මූලික කර ගත් උරුමය තවදුරටත් ඉදිරියට ගෙන යයි. ශ්‍රී ලාංකික කාන්තාවන්ට සුන්දරව සිටින්නටත්, ධෛර්ය සම්පන්න සහ ශක්තිමත් කාන්තා පරපුරක් ගොඩ නැංවීමටත් සහය දැක්වීම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන කුමාරිකා, ජිවිතයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට කාන්තාවන්ව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරයි.

ජායාරූප විස්තරය:

අස්මාරා මනාන් පෙරේරා, අලෙවි කළමනාකාරිණි – හේමාස් කන්සියුමර් ආයතනය, වෛද්‍ය සංජීව මුණසිංහ, ලේකම් – සෞඛ්‍ය  අමාත්‍යංශය, වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්‍යක්ෂ – ජෙනරාල් සෞඛ්‍ය  අමාත්‍යංශය සහ  පළමු කුමාරිකා Care Pack ලබා ගත් සුදේෂිකා සඳමාලි මහත්මිය (වමේ සිට දකුණට)

Comment here