Uncategorised

කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමාස් සමූහ ප්‍රධාන විධායක ධූරයට

හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධූරය සඳහා කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කළේය. මෙම අනුක්‍රමික සැලැස්මෙහි කොටසක් ලෙස, 2020 ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත් කරනු ඇත.

“අභ්‍යන්තර කුසලතා සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන, අපගේ සමාගමේ අනුක්‍රමික සැලසුම් වලට අනුකූල වන පරිදි  විධිමත් තේරීම් ක්‍රියාවලියකින් පසුව කස්තුරි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. කස්තුරි 2002 සිට අප සමඟ සිටින දීර්ඝ කාලීන සාමාජිකාවක් බැවින් ඇය හේමාස් හට ආගන්තුකයෙක් නොවන අතර එවන් අයෙක් සමූහයේ ඉහළම විධායක තනතුරට පත්වීම ගැන අප සතුටු වෙනවා. ” යැයි හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆාලි මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙම පරිවර්තනමය ක්‍රියාවලිය පිළිබඳව එසුෆාලි මහතා තවදුරටත් සිය අදහස් පළ කරමින්,  “පසුගිය වසර හයක ස්ටීවන්ගේ සේවා කාලය තුළ හේමාස් වඩාත් විධිමත්, නොසැලෙන සහ ක්‍රියාකාරී සංවිධානයක් බවට පත් කිරීමට හැකි වී තිබෙනවා. අනාගතය දෙස බලන විට එය අපට හොඳ ස්ථාවරයක් ලබා දෙන්නක් වනු ඇත. වසර ගණනාවක් මුළුල්ලේ හේමාස් වෙනුවෙන් ස්ටීවන් සිදුකල කළ අපිරිමිත දායකත්වය වෙනුවෙන් මා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුට ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම අපගේ හෝටල් ව්‍යාපාරයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ස්ටීවන් අප සමඟ දිගටම සම්බන්ධ වීම ගැන අපි සතුටු වෙනවා. ” යනුවෙන් සඳහන් කළේය.

“අපගේ පවතින ව්‍යාපාර වර්ධනය කිරීමට පමණක් නොව, පාරිභෝගික, සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහන යන අංශයන්හි “නව වර්ධන” ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ආසියානු කලාපයේ බොහෝ ආකර්ෂණීය අවස්ථාවන් අනාගතය විසින් ලබා දෙනු ඇති බවට අපට පෙනී යනවා. හේමාස් හි ආදායම පසුගිය වසර පහ තුළ දෙගුණ වී ඇති අතර, ඉදිරි වර්ෂයන්හි වේගවත් වර්ධනයක් අපි අපේක්ෂා කරනවා.” එසුෆාලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හේමාස් හි දශක දෙකක තම වෘත්තීමය කාලසීමාව අතරතුර කස්තුරි මහත්මිය, සමාගමේ ප්‍රධාන ක්‍රියාවලි නිළධාරී (Chief Process Officer ) බවට පත්වූ අතර ඉන් අනතුරුව 2011 දී ඇය සමූහයේ ගුවන්, සංචාරක සහ ප්‍රවාහන ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කර ඇත. 2016 දී කස්තුරි මහත්මිය හට හේමාස් Pharmaceuticals හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරය පැවරුණු අතර එහිදී ඇය නිරන්තරයෙන් පැන නගින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් අභියෝගාත්මක නියාමන පරිසරයක් තුළ තිරසාර වර්ධනයක් ලබා දී ඇත.

කස්තුරි මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකාවකි. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලේ (Harvard Business School) ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන ඇතුළු නායකත්ව වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. වසර ගණනාවක් තිස්සේ ඇය කර්මාන්ත සංසද සහ ප්‍රජාවන් සඳහා ක්‍රියාකාරිනියක ලෙස දායක වී ඇත. ඇය Capital Alliance Ltd හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරය හොබවයි. කස්තුරි මහත්මිය 2019 දී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් ගේ ලැයිස්තුවට (Women Changemakers in Sri Lanka) තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ද ලක් වූවාය.

හේමාස්, පාරිභෝගික, සෞඛ්‍ය සත්කාර, ප්‍රවාහන සහ හෝටල් යන ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි තම නිෂ්පාදන හා සේවාවන් හරහා දිනපතා මිලියන ගණනක පාරිභෝගිකයින්ගේ ජීවිත ස්පර්ශ කරයි. ශ්‍රී ලංකාව තම ප්‍රධාන මෙහෙයුම්  මූලස්ථානය කරගත් හේමාස් සමූහය, බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරයෙහි ද තම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරයි.

Comment here